ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්නයේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීම රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මෙහි විශේෂත්වය වනුයේ, ගොවියාට විශේෂ වරප්‍රසාදයක් හැටියට ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලට ගැනීමයි. මීට ප්‍රථම කන්න වලදී රජය මඟින් මිලදී ගනු ලැබුවේ තෙතමනය 14% ක් හෝ ඊට වඩා තෙතමනය අඩු වී පමණයි.
මෙවර උපරිම තෙතමනය 22% දක්වා ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගනු ලැබෙනවා. පසුගිය වසර වල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රු.38 කට හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රු.41 කට මිලදී ගත් අතර මෙවර සියළුම වර්ගයේ වී සඳහා ඉහල මිලක් ලබාදෙමින් කිලෝ ග්‍රෑම් එකක් රු.50 රජය විසින් මිලදී ගනු ලැබෙනවා.
ගොවීන්ට වඩාත් පහසුවෙන් වී රජය වෙත ලබාදීම සඳහා පහත ආකාර දෙකට වී මිලදී ගැනීම සිදු කරනු ලැබෙනවා.
(අ) වී අලෙවි මණ්ඩලය හරහා උපරිම තෙතමනය 14% කින් යුතු ප්‍රමිතියෙන් යුත් වී මිලට ගන්නා අතර එම වී සඳහා කිලෝ ග්‍රෑම් එකකට රු.50 ක් ගොවීන්ට ලබා දෙන අතර
(ආ) දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති හරහා ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව තෙතමනය 14% ඉක්මවන උපරිම තෙතමනය 22% නොඉක්ම වු වී කිලෝ ග්‍රෑම් එකක් රු.44 කට මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර එසේම, මෙම ක්‍රියාමාර්ගය තුල තෙතමනය 14% ක් වු නිසි ප්‍රමිතියෙන් යුත් වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 කටද මිලදී ගනු ලැබෙනවා.
එක් ගොවියෙකුගෙන් වගා කර ඇති භූමි ප්‍රමාණය අනුව මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය පහත දැක්වෙනවා.
වගා කර ඇති භූමි ප්‍රමාණය මිලදී ගන්නා උපරිම වී ප්‍රමාණය (Kg)
අක්කර 1 දක්වා 1,000
අක්කර 1 – 3 දක්වා 3,000
අක්කර 1 – 5 දක්වා 5,000
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආරම්භක පියවර සඳහා රු.මි 3,830 ක බැංකු අරමුදල් මේ වන විටත් වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සැපයීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම, රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා,ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන සතු ගබඩා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු ගබඩා පහසුකම් ද සුදානම් කර තිබෙනවා.