කුසුම්දාසට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය කල්යයි

කුසුම්දාස මහානාමට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය කල්යයි

by Staff writer 09-09-2019 | 2:04 PM
COLOMBO (News 1st) : ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහි අල්ලස් නඩුවේ සාක්ෂි විභාගය හෙට දිනය දක්වා කල් තැබිණ. ඒ, අල්ලස් කොමිසම විසින්, විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එම නඩුවේ සාක්ෂි විභාගය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද ආරම්භ කිරීමට නියමිතව තිබිණ. විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින්, මෙම නඩුව පවරා ඇත්තේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු එස්. නාගරාජා මහතාගෙන් රුපියල් කෝටි දෙකක් අල්ලස් ලබාගත් බවටයි. ඒ අනුව එම ඉන්දිය ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතන දෙක හෙට දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස විශේෂ මහාධිකරණය එම ව්‍යාපාරිකයාට අද අවවාද කළේ ය. සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් හා චම්පා ජානකී රාජරත්නම් යන ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව අද කැඳවනු ලැබී ය.