තෙබුවන: වැලි බලපත්‍රය ගැන පොලිස් මූලස්ථානයෙන් විශේෂ පරීක්ෂණයක්

සැරයන් සනත් ගුණවර්ධන තෙදරු පියෙකි. නෑබඩ ආසන්නයේ පදිංචි ඔහු කලක පටන් සිත්තැවුලෙන් සිටි අයෙකු බව ඔහුගේ බිරිඳගේ කතාබහෙන් හැඟේ
ඡායාරූප ශීර්ෂ වැකිය, සැරයන් සනත් ගුණවර්ධන තෙදරු පියෙකි. නෑබඩ ආසන්නයේ පදිංචි ඔහු කලක පටන් සිත්තැවුලෙන් සිටි අයෙකු බව ඔහුගේ බිරිඳගේ කතාබහෙන් හැඟේ

පොලිසිය භාරයට ගනු ලැබූ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට අයත් යයි පැවසෙන වැලි ලොරියක් නිදහස් කළ බවට චෝදනා කරමින් ගිනි අවියක් අත දරා ඊට විරෝධය පළ කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ අදහස් හුවමාරු වෙමින් පවතී.

අදාළ පොලිස් සැරයන්වරයා විසින් සැප්තැම්බර් 28 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූ වැලි ලොරියක් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත නිදහස් කර ඇතැයි සඳහන් ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලය තුළ දැකිය හැකිය.

කෙසේ නමුත් ගිනි අවියක් අතැතිව හැසිරුණු සැරයන් සනත් ගුණවර්ධන පසුව අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

ගිනි අවියක් රැගෙන සිටි සැරයන්වරයාගේ ඉල්ලීම වූයේ "නීති විරෝධී වැලි ලොරිය" සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

ඉහත කී වැලි ලොරියට නිසි බලපත්‍රයක් තිබී ඇතැයි පෙනෙන්නට තිබෙන බව පවසන පොලිසිය අදාළ බලපත්‍රය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සඳහන් කරයි.

"ඒ වැලි ලොරියට බලපත්‍ර තිබෙන බව තමයි බැලූ බැල්මට පෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මැණික්, භූ විද්‍යා පතල් කාර්යාංශය මගින් ඒ බව තහවුරු කර තිබෙනවා," ඒ පිළිබඳ බීබීසී කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර පැවසීය.

"ඔහුට එහෙම කරන්න බැහැ. පොලිස් නිලධාරියෙක් ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. වෙඩි තියද්දි මිනිස්සුන්ට වෙඩි වැදුනා නම්? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් පොලිස් නිලධාරියෙකුට විරෝධතා කරන්න බැහැ. මෙහෙම දෙයක් ඕයිසී කළා කියලා ඔහුට මේ ගැන ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්න තිබුනා."

"බලපත්‍ර තිබුනා නම් වැලි ලොරිය දින තුනක් පොලිසියේ තබා ගත්තේ ඇයි?
ඡායාරූප ශීර්ෂ වැකිය, "බලපත්‍ර තිබුනා නම් වැලි ලොරිය දින තුනක් පොලිසියේ තබා ගත්තේ ඇයි?"

මේ අතර පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳ සිය සැමියා දීර්ඝ කාලයක සිට සිත්වුතැලෙන් පසු වූ බව ඔහුගේ බිරිඳ යුකේඩී ශාමා දමයන්ති පවසයි.

සැරයන් සනත් ගුණවර්ධනගේ බිරිඳ පොලිසිය වෙත කරන චෝදනා බරපතලය.

"බලපත්‍ර තිබුනා නම් වැලි ලොරිය දින තුනක් පොලිසියේ තබා ගත්තේ ඇයි? අපේ මහත්තයට මුලදීම කියන්න තිබුනනේ මේකේ බලපත්‍ර තියෙනවා නිදහස් කරන්න කියලා. එහෙම කරලා මහත්තයට විරුද්ධව නීතිමය පියවරක් ගන්න තිබුනනේ,"

එසේ නොකොට මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා සහ තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා සිය සැමියා කැඳවා සියල්ල ඉදිරියේ "අසා සිටීමට බැරි ආකාරයෙන් බැණ වැදී" ඇති බව ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"බලපත්‍ර තිබිල ගෙනාව නම් ලොරියේ අයිතිකාරයා මහත්තයට විරුද්ධව නඩු පවරන්න ඕන. මොකටද දවස් තුනක් ලොරිය පොලිසිය ඇතුලේ තියා ගත්තේ?"

එල්ටීටීඊ අත්අඩංගුවේ
ඡායාරූප ශීර්ෂ වැකිය, එල්ටීටීඊ අත්අඩංගුවේ

සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සිය සැමියාගේ එකම ඉල්ලීම බව කී සැරයන් සනත් ගුණවර්ධනගේ බිරිඳ, " එහෙම නොවෙයිනේ වෙන්නේ කියලා එයා කියන්නේ. මගේ මහත්තයනේ උසාවි යන්නේ. එයා දන්නවා වෙන අසාධාරණකම්," යනුවෙන් ද සඳහන් කළාය.

"ත්‍රීවීල් එකක මොනවහරි පරණ වෙලා තිබ්බොත් දානවා බොරු වැරදි දාලා. හැබැයි වැලි, දැව ජාවාරම්කාරයන්ට එහෙම නැහැ කියලා එයා කියනවා."

"පොඩි මනුස්සයෙක් අහුවුනාම පුළුවන් තරම් වැරදි දාලා දානවලු නඩු. ගෙදර ආවත් කල්පනා කරනවා. ඒවා ගැන පොලිසියේ අයත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා ඇහෙනවා අපිට."

සැරයන් සනත් ගුණවර්ධන තෙදරු පියෙකි. නෑබඩ ආසන්නයේ පදිංචි ඔහු කලක පටන් සිත්තැවුලෙන් සිටි අයෙකු බව ඔහුගේ බිරිඳගේ කතාබහෙන් හැඟේ.

මීට ඉහතදී සිදුවූ තුවාලයක් හේතුවෙන් සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ ඔහුගේ දින 15ක වේතනය කපා දමා ඇති බව ඇය පැවසුවාය.

කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ සැරයන් සනත් ගුණවර්ධන සේවයට වාර්තා නොකර නිතර නිවාඩු ගන්නා අයෙකු බවට කරුණු වාර්තා වන බවය.

එසේම ගිනි අවියක් රැගෙන විරෝධය දැක්වීමට පෙර දින වසර කීපයකට ඉහතදී හටගත් සිංහල මුස්ලිම් ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර සිදු වූ පොලිස් වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට සිය ස්වාමියා පෙනී සිටි බව සනත් ගුණවර්ධනගේ බිරිඳ සඳහන් කළාය.

ඉන් පසුදා පොලිස් ප්‍රධානීන්ගේ බැණ වැදීම් හමුවේ "සිත් තැවුලට" පත්ව සිටි සිය ස්වාමියා "වරෙන්තු මෙහෙයුමක්" සඳහා පිටත් කළ අවස්ථාවේ "ආවේගයක් හටගැනීම" විරෝධයට හේතු වන්නට ඇතැයි ඇය පැවසුවාය.

පැවති මානසික මට්ටම අනුව එවැනි මෙහෙයුමකට යාමට ඔහු අදිමදි කර ඇති බවත් ඇය කියා සිටී.

තෙබුවන පොලිස් ස්ථානය

ඡායාරූප මූලාශ්‍රය, පොලිස්

එසේම පවතින අගහිඟකම් හමුවේ සිය පුතු නැගණියගේ නිවසේ නතර කර පාසල් යැවීමට සිදුව ඇති බව කී සැරයන් සනත් ගුණවර්ධනගේ බිරිඳ, "එයා පුතා බලලා ඇවිත් හැමදාම අඬනවා," යනුවෙන් පැවසුවාය.

සැරයන් සනත් ගුණවර්ධන 1993 වසරේදී එල්ටීටීඊ අත්අඩංගුවට පත්ව ඇති අතර පවුලේ සාමාජිකයන් පවසන පරිදි නිදහස ලබා ඇත්තේ එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් ඔහුට නිදහස හිමිවීමෙන් අනතුරුවය.

ඔහු වසර තුනකට අධික කාලයක් එල්ටීටීඊ අත්අඩංගුවේ පසුව ඇති බවත් ඔහුට එහිදී දැඩි වධහිංසා විඳීමට සිදුව ඇති බවත් පවුලේ ඥාතීහු පවසති.

"ප්‍රභාකරන් සමාව දුන්නත් අපේ මිනිස්සුන්ගෙන් එයාට නිදහසක් හම්බ වුනේ නැහැ. මේ සිදුවීමත් එක්ක මට අහන්න තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන අවංක නිලධාරීන්ට පිස්සෝ කියලද කියන්න තියෙන්නේ කියලයි," සැරයන් සනත් ගුණවර්ධනගේ බිරිඳ ප්‍රශ්න කරයි.

සාමාන්‍යයෙන් තමන්ට සිදුවන අසාධාරණයක්, අයුක්තියක් පිළිබඳ නීතියේ සරණ පතන සාමාන්‍ය වැසියෙකු පළමුව සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්නේ පොලිසියටය.

පොලිස්පතිවරයා සිය ආයතනය තුළ භාවනා වැඩසටහන් පවා ආරම්භ කර ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ මානසික සුවය යහපත් මට්ටමක පවත්වා ගැනීමේ අරමුණෙනි.

පොලිස් නිලධාරියෙක් සිත් තැවුලෙන් සිටීනම් සිත්තැවුලෙන් පොලිසිය වෙත එන සාමාන්‍ය වැසියෙකුගේ ගැටලුවකට සහනයක් බලාපොරොත්තු වන්නේ කෙසේ දැයි විමසු අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ පොලිසිය තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවය.

තවත් කියවන්න: