iMAGE: Ada Derana Biz

“සෑම දෙනාම ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකාව ගනු ලබන පියවරවලට කේන්ද්‍රීය විය යුත්තේ මානව අයිතිවාසිකම්යැයි”  ශ්‍රීලංකාව තුළ දින නමයක සංචාරයකින් පසුව ප‍්‍රකාශයක් නිකුත් කරමින්  මානව අයිතිවාසිකම් කෙරේ විදේශ ණය බලපෑම පිළිබඳ  එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥයකු වන ජුවන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි 2018 සැප්තැම්බර් 11 නිකුත් කළ නිවේදනයකින් දැක්වේ. මෙම නිවේදනයෙන් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ

‘‘ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතිපත්තිවල සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීමේ දී ශ‍්‍රී ලංකාණ්ඩුව, මානව අයිතිවාසිකම් බලපෑම තක්සේරු කළ යුතු යි යන්නයි.

‘‘අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව ආණ්ඩුව තෝරා ගෙන ඇති උපාය මාර්ගය වන්නේ අන්තර්ජාතික ණය ගැනීම් තුළින් ආදයම සහ විදේශ අංශ ශක්තිමත් කිරීමෙන් ආර්ථිකය ස්ථාවර කිරීමය. ඊට දැවැන්ත යටතල ව්‍යාපෘති සංවර්ධනය කිරීම ද ඇතුළත්ය. ඒවාට පසුගිය පාලනය සමයේ ආරම්භ කරන ලද ව්‍යාපෘති බොහොමයක් ද ඇතුළත් යයිද  ණය ආපසු ගෙවීම දැන් රටේ වැදගත්ම වැය ශීර්ෂය වන අතර ඒ සඳහා ලබා ගන්නා ණය වලින් සැලකිය කිය යුතු කොටසක් වෙන් කිරීමට සිදුව ඇතැයි’’  හෙතෙම වාර්තාව තුළ සඳහන් කොට තිබේ.

බොහොස්ලාව්ස්කි  පෙන්වා දෙන්නේ “ණය ආපසු ගෙවීම සඳහා වඩාත් අඩු පීඩාකාරී ප‍්‍රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතු බවය. සැලකිල්ලට ගත යුතු වෙනත් විකල්ප පවතින අතර  අනුක‍්‍රමික බදු ප‍්‍රතිසංස්කරණ තුළින් දේශීය ඉල්ලූම නගා සිටුවීම, සමාජයීය ප‍්‍රතිලාභ වැඩි කිරීම, අවම වැටුප් වැඩි කිරීම සහ කිසිවෙකු මග නොහැරීම තහවුරු කිරීම සඳහා ආදායම් ජනනය කරනු සඳහා ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම ගැන නැවත සාකච්ජා කිරීම ඒවාට අවශ්‍යයි” බවයි.

එසේම ඔහු ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ  සම්පත් වඩාත් විශාල වශයෙන් යෙදවිය යුතු බවට පොදු එකඟතාවයක් පවතින හෙයින් ද,  ලොව පුරා ගලා යන නීති විරෝධී මුදල්වලින් වැඩිම ප‍්‍රමාණයක් දේශ සීමා හරහා කෙරෙන බදුවලට අදාල ගනුදෙනු යැයි ගණනය කර ඇති හෙයින්ද,  බදු ගෙවීම පැහැර හැරීම රටේ නීතිය අනුව වරදක් සේ නොසැලකෙන නිසා තම ගනුදෙනු කරුවන්ගේ බදු ගෙවීම පැහැර හැරීමට අදාල සැක කටයුතු ගනුදෙනු දැනුම් දිමට බැංකුවල බැඳිමක් නැති  මෙම නීති හිඩැස පියවන ලෙසය.

2009  යුද්ධය අවසන් අවසන්වීමෙන් පසුව, කොළඹ බාහිර වටරවුම් අධිවේගී මාර්ගය, විදුලි උත්පාදන කම්හල්, හම්බන්තොට වරාය සහ හම්බන්තොට ගුවන් තොටුපොළ ඇතුළත් මහා පරිමාණ ව්‍යාපෘති රට පුරා ආරම්භ කර ඇතත් ශ‍්‍රී ලංකාවේ නීති රාමුවෙන් මෙවැනි මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපාති ආරම්භ කිරීමට පෙර සවිස්තරාත්මක මානව අයිතිවාසිකම් බලපෑම් තක්සේරු කිරීමක් සඳහා නීතිමය බැඳීමක් ස්ථාපනය කර නැති හෙයින්  පවතින අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන් පදනම්ව මෙම ගැටලූ පිළිබඳව ශක්තිමත් සහ සවිස්තරාත්මක නීති සම්මත කිරීමට හෙතෙම  ආණ්ඩුවට උපදෙස් දී තිබේ.

වාර්තාව තුළ ඔහු වැඩි දුරටත් පවසන්නේ  ක්ෂුද්‍ර මූල්‍ය ගැන මම විශේෂිත අවධානය යොමු කළ බවය. එහිදී විශේෂ අවධානයට ලක් වූ ණය දෙන්නන් විසින් කරනු ලබන අයථා කටයුතුවල සංඛ්‍යාව, බහුලත්වය සහ බරපතළකම ගැන රජය කඩිනම් පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

‘‘ක්ෂූද්‍ර මූල්‍ය ලබා ගන්නන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබිණ. ඒ යුද්ධයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල සහ අනෙකුත් දුප්පත් ස්ත‍්‍රීන් ය. ඔවුන් ක්ෂුද්‍ර මූල්‍ය ලබා දෙන්නන්ට විශේෂයෙන් ඉලක්ක වී ඇත. මෙම ආයතන තම ණය සඳහා සියයට 220ක පොලී අනුපාත අය කරති. එමෙන්ම එය වැල් පොලි අනුපාතයකි. මෙම යාන්ත‍්‍රණයෙන් ණය ලබා දෙන්නන්ට විශාල ලාභ අත් කර දෙන අතර වැඩි වශයෙන්ම ගැහැනුන් වූ දුප්පත් ණය ලබා ගන්නන් මත ඉමහත් බරක් පැටවේ”  යනුවෙන් ස්වාධීන විශේෂඥයා තම වාර්තාව තුළ පවසා තිබේ.

එය විස්තරාත්මකව දක්වන ඔහු පවසන්නේ  විවිධ ණය දෙන්නන්ගෙන් ලබා ගත් ණය තුනක් හෝ හතරක් ගෙවීමට ඇති ස්ත‍්‍රීන් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවත් , තවත් සමහරු දැනටමත් ලබා ගත් ණය ආපසු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට තවත් ණය මුදල් ලබා ගන්නා බවත්ය.  ණය එකතු කරන්නෝ වාරික මුදල් ලබා ගැනිමට සමහරවිට දිනපතාම පාහේ ණය කරුවන්ගේ ගෙවල්වලට යන බවත්,ඇතැමුන් වාරික මුදල් ලැබෙන තෙක් පැය ගණන් නිවෙස්වල රැදී සිටින බවත්ය.

මෙවැනි අවස්ථා වලදී බොහෝ විට කාන්තාවන්  ණය රැස් කරන්නන්ගේ මානසික සහ කායික ප‍්‍රචණ්ඩත්වයට ලක් වෙන අතර ගෙවීමට ඇති ණය වාරික වෙනුවෙන් ණය රැස්කරන්නන් මෙකි කාන්තාවන්  ‘ලිංගික ආශාවන්ට’ ගොදුරු කර  ගැනීමට බලපෑම් කළ අවස්ථා ද ඔහුගේ අවධානයට යොමුව තිබේ. ඇතැම් විටෙක ණය ආපසු ගෙවීම සඳහා මුදල් ලබා ගැනීමට තම වකුගඩු විකිණීමට සූදානම් වූ ණය කරුවන් ගැන ද  බොහොස්ලාව්ස්කිට අසන්නට ලැබුණු බවද සඳහන් කොට තිබේ.

ඒ අනුව මෙම ගැටලුව කෙරේ විශේෂ අවධානයක් යොමු කරන විශේෂඥ බොහොස්ලාව්ස්කි මෙම ආයතන සඳහා පොලි අනුපාත සීමා පනවන ලෙසත් ශක්තිමත් සහ දැඩි නියාමන සම්මත කර කි‍්‍රයාත්මක කරවන ලෙසත්, ක්ෂුද්‍ර ණය ලබා දෙන්නන් ණය අවදානම් තක්සේරු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව තක්සේරු කිරීමේ දී මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන්ට ගැලපෙන මග පෙන්වීම් තිබිය යුතු බවත්, ණය ලබා දෙන්නන් විසින් මෙම කණ්ඩායම් සූරා කෑමට සහ අයථා ලෙස යොදා ගැනීමේ අවදානම් අවස්ථා වැළැක්වීම සඳහා නීති සම්මත කරන තෙක් මෙම ණය විලම්බනය කිරීමක් ප‍්‍රකාශයට පත් කරන ලෙසත් තමන්  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මෙම වාර්තාව මඟින් කියා තිබේ.

මානව අයිතිවාසිකම් කෙරේ විදේශ ණය බලපෑම පිළිබඳ  එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥයකු වන ජුවන් පැබ්ලෝ බොහොස්ලාව්ස්කි තම සංචාරය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් 2019 මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් සභාවට ඉදිරිපත් කරනු ඇත.

වාර්තාව උපුටා ගැනීම – (මානව අයිතිවාසිකම් පිටුව – ශ‍්‍රී ලංකාව)

(ජුවන් පැබිලෝ බොහොව්ස්ලාව්ස්කි ( ආර්ජන්ටිනාව) එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය විසින් 2014 මැයි 8 වැනි දා විදේශ ණය සහ මානව අයිතිවාසිකම් බලපෑම් පිළිබඳ ස්වාධීන විශේෂඥයෙකු ලෙස පත් කරන ලදී. ඔහු මිට පෙර  එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුවේ රාජ්‍ය ණය පිළිබඳ විශේෂඥයෙකු වශයෙන් කටයුතු කළ අතර එහි දී ඔහු වගකීමෙන් යුත් රාජ්‍ය ණය ලබා දීමේ සහ ලබා ගැනීමේ විශේෂඥ කණ්ඩායම සම්බන්ධීකරණය කෙළේය. කිසියම් ආණ්ඩුවකින් හෝ සංවිධානයකින් ස්වාධීන වන ඔහු පුද්ගල මට්ටමෙන් ක්‍රියාකරන්නෙකි.

ස්වාධීන විශේෂඥයන් යනු මානව අයිතිවාසිකම් මණ්ඩලයේ විශේෂ කි‍්‍රයා පටිපාටි යනුවෙන් හැඳින්වෙන කොටසකි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පද්ධතියේ ස්වාධීන විශේෂඥයන් ගේ විශාලතම ආයතනය වන විශේෂ කි‍්‍රයා පටිපාටි ලොව සියලූ ප‍්‍රදේශවල, රටකට විශේෂිත තත්වයන් හෝ තේමාගත ගැටලූ ආමන්ත‍්‍රණය කෙරෙන ස්වාධීන තොරතුරු සෙවීමේ සහ අධීක්ෂණ යාන්ත‍්‍රණයට දී ඇති පොදු නාමයයි. විශේෂ කි‍්‍රයා පටිපාටි විශේෂඥයන් ස්වේච්ඡුා පදනමෙන් වැඩ කරන අතර ඔවුන් එක්සත් ජාතින්ගේ කාර්ය මණ්ඩලයට අයත් වන්නේ නැත. ඔවුන් තම සේවය වෙනුවෙන් වැටුපක් ලබන්නේ ද නැත. කිසියම් ආණ්ඩුවකින් හෝ සංවිධානයකින් ස්වාධීන වන ඔවුහු පුද්ගලික මට්ටමෙන් සේවය කරති)

Read the Full Report in Sinhala, Tamil here