"බහුතර දෙමළ ජනයාට යළි සන්නද්ධ අරගලයක් අවශ්‍ය නැහැ" - විජයකලා මහේෂ්වරන් ගැන දෙමළ නායකයෝ

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්

උතුරේ පවතින ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැල්ල සහ මත් ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අදහස් පළ වෙමින් තිබේ.

ඇතැම් දේශපාලනඥයන් විසින් ඉහත කී ප්‍රකාශය විග්‍රහ කරනු ලබන්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්දය ඉලක්ක කර ගනිමින් "දේශපාලන වාසි" ලබා ගැනීමේ අරමුණින් කළ ප්‍රකාශයක් ලෙසය.

දකුණේ සිංහල ප්‍රජාවට අයත් ඇතැමුන් ඒ සම්බන්ධයෙන් කෝපයෙන් යුතුව සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබෙන ආකාරය දකින්නට ලැබේ.

"එයාලට හිට්ලර් ඕන නම් අපි හිට්ලර් ලබා දීමට සූදානම් නේද මිත්‍රවරුනි" ලෙස සඳහන් ඡායාරූපයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ හාරදහසකට වැඩි පිරිසක් විසින් 'Share' කරනු ලැබ ඇත.

උතුරේ හෝ දකුණේ වේවා ඒකාධිපති පාලනයකට කිසිදිනක ඉඩ නොතැබිය යුතු බව මහේෂ්වරන් ඇමතිවරියගේ ඉහත කී ප්‍රකාශය හෙළා දකින දකුණේ තවත් සමහරෙකුගේ අදහස වී තිබේ.

facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook

අමාත්‍යවරිය ඉහත කී ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ එහි සිටි අමාත්‍ය වජිර අබේවර්ධන සිය කතාව අතරතුර අදහස් දක්වමින් පවසා තිබුණේ "අපි හැමෝම එකම ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත් විය යුතුයි. එයට විරුද්ධව කිසිම කෙනෙක් කිසිම දෙයක් නොකළ යුතුයි," යනුවෙනි.

තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව අදහස් දක්වමින් මහේෂ්වරන් ඇමතිවරිය කියා සිටියේ එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවක් සිය කතාවෙන් අදහස් නොකළ බවය.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් පවත්වන ලද සජීවී ෆේස්බුක් සංවාදයකදී දුරකථනය ඔස්සේ අදහස් දැක්වූ ඇය තමන්ට එම මොහොතේ ඇති වූ "ආතතිය" හේතුවෙන් එවැන්නක් ප්‍රකාශ වූ බව කියා සිටියාය.

එල්ටීටීඊය ශ්‍රී ලංකාව තුළ තහනම් 'ත්‍රස්තවාදී' සංවිධානයකි.

இலங்கை

ඡායාරූප මූලාශ්‍රය, Mark Wilson

ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා සහ එල්ටීටීඊ සංවිධානය අතර තිස් වසරකට ආසන්න කාලයක් ගැටුම් පැවතිනි. 2009 වසරේදී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් වන අවස්ථාවේ ගැටුම්වලින් 70,000-80,000 අතර සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව විශ්වාස කෙරේ.

යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ මත්පැන් භාවිතය සහ මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව උතුරු පළාතේ දේශපාලන නායකයන් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

ස්ත්‍රී දුෂණ සහ අපචාර ඉහළ යාමට එම තත්ත්වය හේතු වී ඇති බවක් ද එහිදී කියවිණි.

මහේෂ්වරන් ඇමතිවරිය සිය කතාව තුළ ආණ්ඩුවට චෝදනා කරමින් පවසන්නේ හමුදාව සතු ඉඩම් යළි ලබා දීම හැරුණු කොට වැන්දඹු පවුල්, උපාධිය නිම කළ තරුණ තරුණියන්, එල්ටීටීඊ සාමාජිකයන්ව සිට පුනරුත්ථාපනය ලැබූවන් වෙනුවෙන් "කිසිවක් කර නොමැති" බවය.

එසේ තිබියදී දේශපාලන නායකයන් සිය මෝටර් රථ මගින් යාපනයට මත් ද්‍රව්‍ය රැගෙන එන බවට ද ඇය චෝදනා කරයි.

සිය ස්වාමිපුරුෂයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී මහේෂ්වරන් 2008 වසරේදී ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ විජයකලා මහේෂ්වරන් දේශපාලනයට පිවිසියාය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය ස්වාමිපුරුෂයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී මහේෂ්වරන් 2008 වසරේදී ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ විජයකලා මහේෂ්වරන් දේශපාලනයට පිවිසියාය

උතුරේ බහුතර මතය

ඉහත කී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බව උතුරේ දේශපාලනඥයන් බහුතරයකගේ මතය වී තිබේද?

උතුරු පළාතේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමි දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසන්නේ එල්ටීටීඊ සංවිධානය පමණක් නොව කුමන හෝ ආකාරයේ සන්නද්ධ අරගලයක් පිළිබඳ තමන් විශ්වාසය නොතබන බවය.

සාමකාමී මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු බව සිය ස්ථාවරය වී ඇතැයි ඔහු කියා සිටියේ ඇමතිවරියගේ ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහේෂ්වරන් අමාත්‍යවරියගේ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සහ දකුණේ සෙසු දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්දැයි යන්න පිළිබඳ තමන් අවධානයෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.

උතුරේ ජනතාව තවමත් එල්ටීටීඊ සංවිධානය පිළිබඳ විශ්වාසය තබා සිටීදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් කියා සිටියේ ඔවුන් තුළ එවැනි විශ්වාසයක් ඇතැයි සිතිය නොහැකි බවය.

"ඒකාන්තයෙන් ඔවුන්ට යළි සන්නද්ධ අරගලයකට යාමට අවශ්‍ය නැහැ, ඒක මට සහතිකවම කිව හැකියි," ඔහු පැවසීය.

"හිටපු එල්ටීටීඊ සටන්කරුවන් හෝ වෙනත් සටන් සංවිධානවල හිටපු සාමාජිකයන් ඇතුළු අතිවිශාල බහුතර දෙමළ ජනයාට යළි සන්නද්ධ අරගලයක් අවශ්‍ය නැහැ. මට ඒ ගැන සියයට සීයයක් විශ්වාසයි."

"මනාප ලබා ගැනීමේ අපේක්ෂාවෙන්" ඇමතිවරිය කළ ප්‍රකාශය කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"උතුරේ, දකුණේ, නැගෙනහිර, බටහිර කවුරුන්ට හෝ හිට්ලර් කෙනෙකු පිළිගත නොහැකියි. එය සිදුවිය නොහැක්කක්," පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක එස් තවරාජා විසින් අදාළ ප්‍රකාශය හඳුන්වනු ලැබුවේ "පිස්සු ප්‍රකාශයක්" ලෙසය.

දෙමළ ජනතාවගේ මතය එය නොවන බව කී ඔහු ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිතුරු ලබාදිය යුතු බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය

UNP

ඡායාරූප මූලාශ්‍රය, UNP

එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය කිසි ලෙසකින් අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් තමන් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිනියගෙන් කරුණු විමසන බවය.

"එතුමිය ප්‍රකාශ කරලා තියෙනවා අදහස් කරේ විනයක් ඇතිකරන්න ඕනේ කියන එක කියලා. නමුත් මේ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ මතයක් නෙවෙයි. ඒ ප්‍රකාශය අපි කිසිලෙසකින් අනුමත කරන්නේ නැහැ," අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පැවසීය.

"එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙවෙයි, අනිත් පක්ෂවලත් මේ වගේ විවිධ මත කියන අය ඉන්නවා. ඒ ප්‍රකාශවල භයානකකම සැලකිල්ලට ගන්නවද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඒවා එච්චර හිතල කියන ඒවා නොවෙයි සමහර වෙලාවට. සමහර වෙලාවට ඒ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ලෙස විනයක් ගෙන්න ඕන කියලා හිතල කියන කතා ඕවා. මේක එක්සත් ජාතික පක්ෂය සම්පුර්ණයෙන්ම බැහැර කරනවා."

උතුරේ මත්ද්‍රව්‍ය ගැටලු, ස්ත්‍රී දුෂණ වැනි දේ වැළැක්වීමට පොලිසිය අසමත්වීම මන්ත්‍රීවරිය නැවත එල්ටීටීඊ පාලනයක් ගැන කතාකිරීමට හේතුවී ඇත්දැයි විමසු විට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එම ගැටලුවලට විසඳුම එල්ටීටීඊ පාලනයක් නොවන බව සැවොම දන්නා දෙයක් බවය.

"මෙච්චර මිනීමරපු සමූල ඝාතනය කරපු සංවිධානයක් ගේන්න ඕනේ කියනවනම් අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ එහෙම කියන්න පුළුවන්ද කියලා. ආරක්ෂක අංශ උතුරේ ඒ ප්‍රශ්න විසඳන්න ක්‍රියාමාර්ග අරගෙනයි තියෙන්නේ."

ශ්‍රී ලංකා පර්ලිම්ර්න්තුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ අතර අඟහරුවාදා (ජුලි 03) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ අමාත්‍යවරිය විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ කණ්ඩායම් උණුසුම් අයුරින් අදහස් පළ කළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන බව කථානායක කරු ජයසුරිය පැවසීය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් 2018-07-02 දින යාපනය වීරසිංහම් ශාලාවේදී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ:

"අද දිනයේ ගරු ස්‍වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් යාපනය ජනතාව වෙනුවෙන් මාගේ ගෞරවය පිරිනමනවා. ඇත්තටම අද දිනයේ අපේ තත්වය බැලු විට කිසිදු ආධාරයක් නොලැබෙන තත්ත්වයට පත්ව සිටින බව මෙහි පැමිණ සිටින ගරු අමාත්‍යවරුන් දෙදෙනාට මා සිත්තැවුලෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ඇත්තටම ගැණූ කෙ‍නෙකුගේ අමාරුව තවත් ගැහැණියකටම පමණයි තේරුම් ගැනීමට හැකියාව තිබෙන්නේ. පිරිමින්ට තේරෙන්නේ නැහැ. වයස අවුරුදු හයක දැරියක් දූෂණය කොට මරා දමලා තිබෙනවා. අපේ දැරියන් අද කිසිදු සරණක් නොමැතිව දිවි නසා ගැනීමේ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒකට අපි කුමක් කළ යුතුද?, මේකටද අපි ජනාධිපති පත් කරලා ගෙනාවේ. අපි උරදිලා තමයි අපේ ජනාධිපති පත් කරගත්තේ. ජනාධිපතිතුමා අද මොකක්ද කරන්නේ. එයාගේ පක්ෂය විතරක් දියුණු කරනවා.අපේ මිනිස්සු ආරක්ෂා කරලා නැහැ.

2009 මැයි 18 දිනට කලින් අපේ ජනතාව ජිවත්වුණේ කොහොමද කියලා ඔබලා දන්නවා. මේ අවස්ථාවේ තත්ත්වය බලන විට නැවත එල්ටීටීඊ ය ගෙන ආ යුතු තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපේ ළමයි, අපේ ගැහැණු අය පාසල් ගොස් නැවත නිවෙස් කරා එන තත්ත්වයක් ඇති කිරීමට නම් නැවත එල්ටීටීඊ පාලනයක් පැමිණිය යුතුයි.

රජය පහුගිය වසර තුනක පමණ කාලය තුළ උතුරේ ජනතාවට සිදුකොට ඇත්තේ යුද හමුදාව සතුව තිබු ඉඩම් නිදහස් කිරීම පමණයි. පහුගිය අවුරුදු 30 ක පමණ කාලයක් උතුරේ හමුදාව සිටි ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. රජය ඊට අමතරව කිසිවක් කරලා නෑ.

රජය සංවර්ධනය කරලා තිබෙනවා කියලා කියනවා. ඒක බොරුවක්. මමත් රජයේ ඇමතිවරියක් ලෙස කටයුතු කරනවා. අපි නායකත්වය වෙනුවෙන් ගරු කළ යුතුයි. එහෙත් අපිට කිසිවක් සිදුකොට නොමැතිවීම හේතුවෙන් අපේ සීමාවන් ඉක්මවා යා යුතු තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා.

අපේ තරුණයන් රැකියා නැතුව අද පාරවල් ගානේ රස්තියාදුවෙන තත්ත්වයට පත්වෙලා ඉන්නවා. රැකියා නැතිකම හේතුවෙන් ඒ පිරිස මත්ද්‍රව්‍යට යොමුවෙලා. 2009 මැයි 18 න් පසුව දේශපාලන නායකයෝ තමන්ගේ වාහනවලින් මත්ද්‍රව්‍ය යාපනයට එවලා තිබෙනවා. ඒක නිසා අද යාපනයේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා.

යුද්ධය ඉවර කළාට ආණ්ඩුවට උතුරේ වැන්දඹු පවුල්වලට මොකුත් කරලා නැහැ. උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කරපු උතුරේ තරුණ තරුණියන්ට මොකුත් කරලා නැහැ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්ත අනුව උතු‍රු පළාතේ වැන්දඹු පවුල් 30000 ක් ඉන්නවා.ඒ අයට මොනවාද දිලා තිබෙන්නේ. ඒයාලට මොන ආදායමක්ද තිබෙන්නේ.අපේ මිනිස්සු අද හිඟා කන තත්ත්වයට පත්වෙලා. යුද්ධයෙන් පුනරුත්තාපනය වුණ එල්ටීටීඊ සාමාජිකයින් දැන් 12000 ක් ඉන්නවා. ජනාධිපතිතුමා ඇතුළු රජය ඒ අයට මොනවාද කරලා තිබෙන්නේ. ඒ අයට උදව් කිරීම අද පැත්තකට දාලා තිබෙනවා.ඒ අයට උදව් කරන්න කියලා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අද ඉවත් කරලා. එයාලා මිනිස්සු නෙවෙයිද? එයාලා ආයුධ අරගෙන තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු හින්දා ඒ අය මිනිස්සු නෙවෙයි කියලා කියනවාද?

ජනාධිපතිතුමා ජනාධිපති ලෙස පත්කරන්න, අපි වැඩ කරපු අවස්ථාවේ ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරපු අයට අද ඇමතිකම් දීලා. ඒක සාධාරණද? ඒවැනි දේ තමයි අද උතුරේ ජනතාවට කරලා තිබෙන්නේ. ඒ ගැන කියන්නත් ලැජ්ජයි. මාගේ කාර්යාලයට දවසකට රැකියා ඉල්ලගෙන තරුණ තරුණියන් දහස් ගණනක් එනවා. ඒ අය කියනවා අපි දහස් වතාවක් අයදුම්පත් දීලා තිබෙනවා, අපිට කිසිම රැකියාවක් ලැබිලා නැහැ කියලා. නමුත් දකුණු පළාත්වල අයට උතුරු පළාතේ රැකියා පුරප්පාඩුවලට තනතුරු දීලා තිබෙනවා. ඇමතිකම් දරන අය අපේ පළා‍ත්වල පුරප්පාඩු වෙනුවෙන් දකුණේ තරුණ තරුණියන්ට පත්වීම් දීලා තිබෙනවා. අපේ දරුවෝ පොළේ එළවළු විකුණනවා. වැඩපොළවල්වල සිමෙන්ති අනනවා. ඒ නිසා එයාලා උපවාස කරන තත්ත්වයට පත්වෙලා ඉන්නවා.

හිටපු ආණ්ඩුව කාලේ දකුණේ ඉදලා උතුරේ තිබෙන පුරප්පාඩු වෙනුවෙන් පත්වීම් දුන්නා. දැන් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුත් ඒකම කරනවා. ඒක අපිට මහත් වේදනාවක්. අපේ දරුවන්ට අපේ පළාත්වල රැකියා පුරප්පාඩුවල අවස්ථාවන් දිය යුතුයි. උතුරු නැගෙනහිර වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත්කළ යුතුයි.වෙන පළාත්වල යුද්ධයක් තිබ්බේ නැහැ. ඒක නිසා උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත්කිරීම අවශ්‍යයයි. ඒත් දැන් සිද්ධ වෙන්නේ උතුරු නැගෙනහිර හැර අනෙක් පළාත් වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කරන එකයි.

මම විපක්ෂයේ ඉන්නකොට තෙන්නමරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්කොට ඉදි කර ගැනීම වෙනුවෙන් එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා අපේ ඉල්ලීමට කන් දුන්නේ නැහැ. ඒ කාලයේ ඒ අය ආයුධ ගෙන කටයුතු කළ යාපනයේ දේශපාලන කරපු අයට උදව් කළා. දැන් අපේ පාලන කාලයේත් මම 2016 පෙබරවාරි 23 වෙනිදා අපේ තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ‍වෙන් කොට ලබාදෙන්න කියලා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. තවම ඒක ක්‍රියාවට නඟා ගන්න බැරිවෙලා තිබෙනවා.දැන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යතුමා මෙතෙනට ඇවිල්ලා ඉන්න හින්දා මම කාරුණිකව ඉල්ලා සිටිනවා දැන්වත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන්න කියලා. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හිමිවුණා නම් අපිට අද ඒ හරහා ආර්ථික ලාබ හා රැකියා අවස්ථා උදා කර ගැනීමට හැකියාවක් තිබ්බා.නමුත් දැන් සියල්ල අහිමිවෙලා තිබෙනවා.

මේ වාගේ ලියුම් දහස් ගණනක් මම අමාත්‍යාංශ වෙත යොමු කරලා තිබෙනවා. ඇතැම් වෙලාවට මම අමාත්‍යාංශ‍ වෙත පයින් ගිහිල්ලා මේ වගේ යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා.ඒත් ඒවා අද වෙනකම් සම්පූර්ණ වෙලා නෑ. වර්තමානයේදී දේශපාලනය සම්බන්ධයෙන් සාකච්ජා කරනවා. පළාත් සභා මැතිවරණය ගැන කතා කරනවා. මෙතන ඉන්නවා අපේ උතුරු පළාතේ වර්තමාන ප්‍රධාන අමාත්‍යතුමා.ඒත් එක්කම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුර වෙනුවෙන් එන්න බලපොරොත්තුවක් තිබෙන තවත් කෙනෙකුත් ඉන්නවා. මේවා මම කියන ඒවා නොවෙයි.මාධ්‍ය හරහා දැනගන්න ලැබෙන දේවල්. අපි පළාත් සභාව පිහිටුවාගන්න දැඩි උත්සහයක් ගත්තා.ඒත් දැන් උතුරු පළාත් සභාවට ලැබෙන මුදල් ජනතාව වෙනුවෙන් ප්‍රයෝජනයට නොගෙන නැවත යන තත්ත්වයට පත්වෙලා තිබෙනවා.ඒ මුදල්වලින් ජනතාවට සිදුවෙන වැඩක් නැහැ.ඒක කණගාටුදායකයි.

පැවති ආණ්ඩුව යටතේ පළාත් සභාව වෙනුවෙන් ඉඩම් හා මූල්‍ය බලතල ලබාදුන්නේ නැහැ. දැන් යහපාලන ආණ්ඩුව යටතෙත් පළාත් සභාව වෙනුවෙන් ඉඩම් හා මූල්‍ය බලතල ලැබිලා නැහැ. යහපාලන ආණ්ඩුවත් පැවති ආණ්ඩුව කළ දෙයමයි කරන්නේ. අපි පළාත් සභා වෙනුවෙන් බලතල ලබාගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පළාත් සභාව පැරණි ක්‍රමයට පැවැත්විය යුතුයි. නව ක්‍රමය යටතේ සුළුතර පිරිස් වෙනුවෙන් කිසිම අවස්ථාවක් හිමිවන්නේ නෑ.බහුතරය වෙනුවෙන් තමයි සියළු අවස්ථා හිමවන්නේ.

දැන් තිලක් මාරපන අමාත්‍යතුමා මේ අවස්ථාවට සම්බන්ධවෙලා ඉන්නවා. 2001 හා 2004 කාලය තුළදි තිලක් මාරපන අමාත්‍යතුමා තමයි ආරක්ෂක ඇමති.ඒ වේලාවේ සන්නද්ධ කණ්ඩායම් හා යුධ හමුදාව අතර ගැටුම් තිබුණා.ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ගෙන ගියේ කොහොමද කියලා ඔබ දන්නවා. ඉදිරියේදී ජනාධිපතිවරණය තිබෙනවා. අපේ නායකයා පොදු අපේක්ෂකයා පහුගිය ජනාධිපතිවරණය වෙනු‍වෙන් ඉදිරිපත් කළේ රට ගැන හිතලා. ඒත් ඒ තුළින් යම් යම් අර්බුද තත්ත්වයක් හටගෙන තිබෙනවා. අපි දැන් එක්සත් ජාතික පක්ෂය තනි මතයකට පැමිණිය යුතුයි. අපේ නායකයා හොද ඉගෙනගත් නායකයෙක්. දැන් අපි ජාතික ආණ්ඩුව ගෙන ආ නිසා නිසි පරිදි වැඩ කර ගැනීමට බැරි තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 23 ක් පමණයි ඉන්නේ. එක්සත් ජාතික පක්සයට 98 ක් ඉන්නවා.

අපි ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂ සමයේ තමයි ප්‍රභාකරන් එක්ක සාකච්ජා කළේ. ඉදිරියේදීත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මත සාකච්ජා කොට කටයුතු කිරීමට හැකියාක් තිබෙනවා. තනි ආණ්ඩුවක් යටතේ තීන්දු තීරණ ගෙන පාලනයක් ගෙන යා හැකියි.ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි."

තවත් කියවන්න: