ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහි "ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවන්න"

ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවන මෙන් දන්වා අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් එම නියෝගය නිකුත් කරනු ලැබුවේ අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය විසිනි.

ඒ අනුව අභියාචනාධිකරණය හමුවේ පවතින ප්‍රතිශෝධන පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තෙක් මෙම තහනම් නියෝගය බල පවත්වන බව විනිසුරුවරු සඳහන් කළහ.

බදාදා පෙත්සම කැඳවූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් කියා සිටියේ, ඉහත කී නඩුව ඉදිරිපත් කර තිබෙන ආකාරය අල්ලස් පනතට පටහැනි බවය.

'ඇවන්ගාඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඇවන්ගාඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබේ

මේ හේතුවෙන් පෙත්සම විභාග කිරීමට අවසර ලබාදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු විභාගය තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

තවත් කියවන්න:

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ, පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති වුවත් තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බලා තහනම් නියෝගය නිකුත් කළ අභියාචනාධිකරණය, නඩුවට අදාළ විරෝධතා තිබේනම් අගෝස්තු මස 26 වෙනි දින ඉදිරිපත් කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළේය.

පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නඩුවක් පවරා තිබේ.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ, එම නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බවය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බවත් පෙත්සම්කරු පවසයි.

එබැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප්‍රකාශ කොට ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම නැවත සැප්තැම්බර් මස 28 වෙනි දින කැඳවීමට ද නියම කෙරිණ.

තවත් සබැඳි පුවත්: